Hirugen_pasu

හිරුගෙන් පසු : විකල්පයේ අභියෝගය

මතවාද No Comments 160

‘හිරුගෙන් පසු විකල්ප පුවත් පත් කලාව අදට වලංගුද’ යන තේමාව යටතේ සංවිධානය කෙරුණු සම්මන්ත්‍රණයක් පසුගිය සිකුරාදා(07) ජනරළ පුවත්පතේ මෙහෙයවීමෙන් පැවැත්විණි. ජනරළ කර්තෘ චන්දන සිරිමල්වත්ත, රාවය කර්තෘ කේ.ඩබ්ලිව්. ජනරංජන සහ ප්‍රකට විචාරක සමන් වික්‍රමාරච්චි එහිදී අදහස් පළ කළහ. මේ එම අදහස්වල සාරාංශයකි.

විකල්ප අලෙවි කිරීම වෙනුවට, විකල්ප නැගිටීමක් අවශ්‍යයි

Chandana

 

 

 

 

 

 

චන්දන සිරිමල්වත්ත

ජනරළ පුවත්පත විදියට අපි මේ සම්මන්ත්‍රණය සූදානම් කළේ, කරුණු කිහිපයක් නිසා. ජනරළ පුවත් පත අපේ කාලයේ විකල්ප මාධ්‍ය කලාවකට උර දීමට උත්සාහ කරන පුවත්පතක්. විකල්ප මත, එහෙමත් නැතිනම් පවතින පාලනයට ප්‍රතිවිරුද්ධ මත පැන නගිමින් තිබෙන වකවානුවක විකල්පය මොකක්ද? කියන කාරණය ගැන සාකච්ඡා කිරීම වැදගත්. විශේෂයෙන්ම පුවත් පත් කලාව තුළ අප සොයා යන විකල්පය මොකක්ද කියන කාරණය අපේ සහෘදයන් එක්ක සාකච්ඡා කරන්න තියෙන උවමනාව නිසා.

අපි මාතෘකාව ලෙස ගත්තෙ ‘හිරුගෙන් පසු විකල්ප පුවත් පත් කලාව අදට වලංගුද’ කියන කාරණය. මුලින්ම මං කැමතියි හිරු කියන්නෙ මොකක්ද කියන එක ගැන කතාකරන්න. දැන් මංජුල වෙඩිවර්ධන සහෘදයා විසින් යම් ප්‍රවේශයක් මේකට ලබා දීලා තියෙනවා ඔහු ලියපු කවියකින් සහ අදහස් පෙළකින්.

හිරු පුවත් පත එක්ක යම් සමාජ දේශපාලන කතිකාවකට පැමිණ ඉන් අනතුරුව හිරු පුවත් පත සමඟ වැඩුණ මාධ්‍ය ජීවිතයක් සහිතව පැමිණි අපට පෙනී යන කාරණයක් තමයි නැවත විකල්ප මාධ්‍ය භාවිතාව පිළිබද අවශ්‍යතාවක් මේ සමාජයේ තියෙන බව.

අපි දන්න විදියට හිරු එන්නෙ එක්සත් ජාතික පක්ෂ පාලනයට අභියෝග කරමින්. අපි කව්රුත් නිතර කියන 77 සහ 94 කියන කාල වකවානුව ලංකාවේ සමාජ ආර්ථික ක්‍රමය තුළ සුවිශේෂ වකවානුවක්. ජනප්‍රිය අර්ථයෙන්මේකට කියනවා ‘විවෘත ආර්ථිකය ස්ථාපිත වුණ කාලය’ කියලා. අපි නැවත කියවීමක් කරනවා නව ලිබරල් ධනවාදය ලංකාවේ ස්ථාපිත කරපු කාලය කියලා.

කොහොම වෙතත් ගෝලීය ප්‍රාග්ධනය මේ රට තුළට ඇතුළු වෙලා ඒ සඳහා දේශපාලනික පසුබිම සකස් කර ගත් වකවානුවක, ඒ වකවානුව අවසන් කරන්න අවශ්‍යයයි කියන සමාජ උවමනාව ප්‍රකාශ වෙද්දි ඒ සඳහා පෙළ ගැසුණ සමාජ බලවේගත් එක්ක විකල්ප ප්‍රකාශන රැසක් බිහි වුණ බව අපි දන්නවා.

එතකොට අනූව දශකය ආරම්භයේදී, විශේෂයෙන්ම ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ පාලනයට අභියෝග කරමින් විකල්ප ප්‍රකාශන රැසක් බිහි වුණා. ලක්දිව, හිරු යන පුවත් පත් එම විකල්ප පුවත් පත් ධාරාව තුළ ප්‍රධාන වුණා. එමෙන්ම ඒ වකවානුවේ විවිධ තීරු පත්තර ආදිය නිර්මාණය වුණා. මේ සමාජයේ විකල්ප මතවාද නියෝජනය කරපු කාලයක්.

ඒ වන විට ජනමාධ්‍ය තුළ ඒකාධිකාරයක් ගොඩ නැගිලා තිබුණා. විශේෂයෙන්ම ලේක් හවුස් පුවත් පත්, විජය පුවත් පත් ආයතනය උපාලි යන පුවත් පත් ආයතන විසින් ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍ය කාර්ය ඉටු කරමින් පාලක පන්තියට අවශ්‍යය කරන මත සම්පාදනය කරමින් තිබුණා.

විද්‍යුත් මාධ්‍ය ගත්තහම, රූපවාහිනිය ගුවන් විදුලිය පමණයි තිබුණේ. එවැනි පසුබිමක, එනම් පාලක පන්තියට අවශය තැනක සිට ජනතාවට මත සම්පාදනය කිරීම හා මත හැසිරවීම තිබුණ කාල වකවානුවක තමයි මේ විකල්ප මාධ්‍ය ඊට අභියෝගාත්මකව පැන නගින්නෙ. ඒ කාලය තුළ එය කැරලිකාරී තත්වයක්. ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ ජනාධිපති ධූරයට අභියෝග කරපු දෝෂාභීයෝගය කාලේ විකල්ප ප්‍රකාශන වලට විශාල ඉල්ලුමක් තිබුණා.

එක නගරයක දකින්න නැත්නම් වෙන නගරයක පත්තර තට්ටුවක් හොයා ගෙන යන ආකාරයක් ඒ කාලය තුළ තිබුණා. ඉතින් මේ ඉල්ලුම සපුරාලන්න විකල්ප ප්‍රකාශන වලට නොහැකි වුණා. මොකද එවැනි පත්තර ප්‍රමාණයක් මුද්‍රණය කරන්න පවා හැකියාවක් එම ආයතන වලට තිබු‍ණේ නැහැ. ප්‍රධාන ධාරවේ ජනමාධ්‍ය විසින් හංගන, ජනතාවගෙන් වසන්කරන තොරතුරු රැගෙනයි විකල්ප පුවත් පත් පැමිණියේ.

ලක්දිව සහ ලක්මිණ යන පුවත් පත් දෙකේ විශේෂත්වයක් තිබුණා. එහි කර්තෘ මණ්ඩලය හැටියට ක්‍රියා කළේ වාමාංශිකයො. අපි දන්නවා ඇත්ත පුවත් පත කාලයක් වාමාංශික පුවත් පතක් විදියට ඉතාම ඉදිරියෙන් හිටියා. මා මේ කියන 94 කාලේ වන විට සමාජයේ ප්‍රගතිශීලී බලවේග සියල්ලම වගේ ඒකරාශී වෙමින් තිබුණා එක්සත් ජාතික පක්ෂයේ පාලනය අවසන් කළ යුතුයි විකල්පයක් සෙවිය යුතුයි කියන කාරණය වෙනුවෙන්. ඒ කාලයේ ලක්දිව පුවත් පත පළ වෙමින් තිබුණා. නමුත් එම පුවත් පත අයිතකරුවාගේ උවමනාව වෙනුවෙන් යොදා ගැනිමේ තත්වය මත ඒ කර්තෘ මණ්ඩලය ඉවත් වෙලා වෙනම පුවත් පතක් ආරම්භ කිරීමේ කාර්යයට අත ගැසුවා.

88,89 කාලයේ ජනතා විමුක්ති පෙරමුණ මර්දනය කරලා ඒ සමඟම මාධ්‍ය වේදීන් හා මත පළ කරන්නන් නිහඩ කරලා තිබුණ සමයක ‘හිරු’ පුවත් පත වෙනුවෙන් රට පුරා යමින් ආධාර එකතු කරමින් විවිධ ප්‍රගතිශීලී පුද්ගලයින් විවිධ කණ්ඩායම් එකතු වුණා. විකල්පය සොයා යන දේශපාලන උවමනාවක් තිබුණා ඒ සමාජයට. ඒ දේශපාලන උවමනාව නියෝජනය කරමින් ඒ වෙනුවෙන් වැඩ කරන්න විවිධ මට්ටමේ කණ්ඩායම් සිටියා. ඔවුන්ගේ දායකත්වයෙන් හිරු පුවත් පත ගොඩ නැගුණා. ඒක වාමාංශික විකල්ප පුවත් පතක් හැටියටයි අපි දකින්නෙ. පවතින ධනපති ක්‍රමය පරාජය කරලා ක්‍රම විරෝධී විකල්ප දේශපාලන ක්‍රමයක් යොජනා කරන ධාරවක හඩ නගන්නන් විදියට තමයි හිරු පුවත් පත පැමිණියේ. එහි තියෙන විශේෂත්වය නිසා තමයි අපි ‘හිරුගෙන් පසු’ කියන තේමාව තෝර ගත්තෙ.

මා දකින ආකාරය හිරු පුවත් පත වටා ඒකරාශී වුණ බොහෝ දෙනා 88-89 භීෂණ කාල වකවානුවෙදි ඊට එරෙහිව විවිධ ක්‍රියාකාරකම් වල යෙදුණ, විකල්ප ප්‍රකාශන වල නිරත වුණ අය. මේ වන විට සමහර අය පවතින ප්‍රධාන ධාරාවේ පුවත් පත් වල සේවය කරනවා වෙන්න පුළුවන්, නමුත් හිරු පුවත් පත තුළින් ප්‍රකාශ වුණේ 88-89 මර්දනයෙන් පස්සේ විවිධ ප්‍රදේශ වල රට පුරා විකල්ප ධාරාවේ නිර්මාණාත්මක ප්‍රකාශන බිහි කරපු, එවැනි ප්‍රකාශන නියෝජනය කරපු විකල්ප සමාජ ව්‍යාපාරයක ක්‍රියාධරයින්ගෙ ප්‍රකාශන.

මේ හිරු සම්බන්ධ පසුබිම මේ විදියට සඳහන් කරමින් එතනින් එහාට ගියොත් හිරු පුවත් පතට සමාන්තරව බිහි වුණ වෙනත් විකල්ප පුවත් පත්, රාවය සඟරාව පුවත් පතක් බවට පත් වුණා. ඒ සමඟම දෙරණ විකල්ප පුවත් පත, රන්දිව පුවත් පත යන ඒවා බිහි වුණා. එවැනි පුවත් පත් වල තිබුණ අවසාන අරමුණ වුණේ පවතින එක්සත් ජාතික පක්ෂ පාලනය වෙනුවට වෙනත් දේශපාලන කණ්ඩායමක් බලයට පත් කිරීමයි. චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ පැමිණීමෙන් පසුව ඒ අවශ්‍යතාවත් නැති වුණා. නමුත් හිරු පුවත් පත පැවතුණා. හිරු පුවත් පත ක්‍රම විරෝධී වෙනසක් වෙනුවෙන් පෙනී සිටියා.

එමෙන්ම 90 දශකයේ අවසානයත් සමඟ විද්‍යුත් මාධ්‍යයයේ වෙනසක් ඇති වුණා. අනූව දශකයේ ආරම්භයේ නොතිබුණ වෙනසක් ඇති කරමින් රේඩියෝ නාලිකා සහ රූපවාහිනී නාලිකා බිහි වෙන්න පටන් ගත්තා. විකල්ප මත වලට එම නාලිකා වල තැනක් ලැබුණා. තමන්ගේ වාණිජ අරමුණු වෙනුවෙන් ජනතාවගේ විකල්ප මත ඔවුන් යොදා ගත්තා. විකල්ප ප්‍රකාශන වල නිරත වුණ අයත් මේවට එකතු වුණා, තමන්ගේ මතය මේ හරහා සමාජගත කරන්න. තරගකාරී ආකාරයට විකල්පය අලෙවි කිරීම මේ ආකාරයට ආරම්භ වුණා.

අද වන විටත් අපිට සාකච්ඡා කළ හැකි කාරණයක් තමයි අද අපි විවිධ තැන් වල පවතින අධිපති ධාරාව ප්‍රශ්න කරමින් ඉන්නවා. දේශපාලන දැනුවත් භාවයක් ඇති අය න්‍යායික සංවාද කරනවා. නමුත් අද අවශ්‍යය වෙලා තියෙන්නෙ පවතින පාලනය එහෙමත් නැතිනම් පවතින සමාජ ආර්ථික ක්‍රමය වෙනස් කරන ක්‍රියාකාරීත්වයක්. ඒ අවශ්‍යතාවය නිසාම තමයි ජනතාව පෙළගස්වන ජනතාව වෙනස් කරන විකල්ප මාධ්‍යයක් අවශ්‍ය. ඒක විකල්ප වෙබ් අඩවි ආදිය පිළිබදව කාරණයක් නෙමෙයි. ඒකට අවශ්‍ය විකල්ප දේශපාලන ක්‍රමයක්. ජනරළ පුවත් පත හැටියට අප පෙනී සිටින්නෙත් පවතින ඒ සම්මත සමාජ ආර්ථික ක්‍රමය වෙනස් කරලීමටයි.

අද විකල්පය කියන එකත් වාණිජ දෙයක්. අද විකල්ප මතත් පත්තර පිටු වල අලෙවි වෙනවා. නමුත් අවශ්‍යය කරන්නෙ විකල්ප දේශපාලන අරගලයක්, නැගිටීමක්. කටුනායක, හලාවත, රතුපස්වල මිනිස්සු විවිධ අරගල හරහා නැගිටිනවා. මේ සටන් විකල්පය සොයා යන සටන්. හැබැයි අද පවතින සම්මත ජනමාධ්‍ය මෙම සටන් අලෙවි කරනවා. මේ කිසිවකින් ඔවුන්ගේ ගැටලු වලට විසදුම් සොයන සංවාදයක් ඇරඹීමට ඔවුන් යොමු වෙන්නෙ නැහැ. සියල්ල ලොමු දැහැ ගැන්වෙන ආකාරයට විස්තර කරලා අවසානයේදී පීඩනය මුදා හරින වෑල් විදියට වැඩ කරනවා. අපි ඒ පීඩනය මුදා හරින වෑල් බවට පත්විය යුතු නැහැ. මෙය කිරීම ඉතාම දුෂ්කර කාර්යයක්. අපි ජනරළ පුවත් පත අවුරුදු දෙකක් පවත්වාගෙන ගියා. නැවත ආරම්භ කිරීමටත් අපි කටයුතු කරනවා. හැබැයි මොන අමාරු කාර්යයන් තිබුණත් මේ දේ කළ යුතුයි කියලා අපි හිතනවා.

මාධ්‍ය තියෙන්නෙ දූෂිතයන් අතේ, විකල්පය දුෂ්කරයි

 

Janaratna

 

 

 

 

 

 

කේ.ඩබ්ලිව්. ජනරංජන

මා දන්න හිරු සහ මංජුලත් කියන හිරු නම් යුද්ධය ඉතා දරුණු විදියට ඇවිලෙන වෙලාවේ දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් යුද්ධයට විරුද්ධව පෙනී සිටපු රෝහිත භාෂණගෙ හිරු පුවත්පතයි. මම ආදරය කරන හිරු පුවත් පතත් ඒකයි. හිරු පුවත් පත කිරීමේ ප්‍රතිඵලය වුණේ මොකක්ද ? අද රෝහිත භාෂණට ලංකාවට එන්න බැහැ. ඒක තමයි විකල්ප මතයක් දැරීම වෙනුවෙන් රෝහිත භාෂණට , මංජුල වෙඩිවර්ධනට ලැබුණ දායාදය.

රෝහිත භාෂණ හිරු පුවත් පත කරමින් දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් යුද්ධයට විරුද්ධව ඊනියා දේශප්‍රේමයට හා ජාතිහිතෛශී භාවයට විරුද්ධව විකල්ප අදහසක් ප්‍රකාශ කරපු අවස්ථාවෙදි රෝහිත පුමුඛ හිරු පත්තරයට ලංකාවෙදි ලැබුණෙ දේශද්‍රෝහියා, එල්.ටී.ටී.ඊ. සිංහල ප්‍රකාශකයා, ජනමාධ්‍යවේදී එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදියා යන නම්. මොකක්ද රෝහිත කරපු වරද? (එල්.ටී.ටී.ඊ.ය කරපු දේ වෙනම පැත්තක තියමු) ඒ වෙලාවේ රෝහිත භාෂණ මොනවද කළේ? මෙ රටේ සුළුතරයක් වුණ දෙමළ මිනිස්සු මේ රටේ බහුතරයකට අභියෝගයක් එල්ල කළ වෙලාවේ දෙමළ ජනතාව වෙනුවෙන් පෙනී සිටීම. සියලු අධිපති මතධාරී මාධ්‍යයන් එකහෙලා යුද්ධය අනුමත කරද්දී මානව අයිතිවාසිකම් කඩ කිරීම් නොදැක්කා වගේ සිටි අය නැත්නම් ඒවා අනුමත කරපු අය සිටිය අවස්ථාවක රෝහිත භාෂණ ඒකට විරුද්ධ වුණා. ඒ නිසා ඔහුට රට හැර යන්නත් සිදු වුණා.

විකල්පය කියන එක හැම තිස්සෙම සාපේක්ෂයි. මේ වෙලාවේ විකල්පය මේ වෙලාවට සාපේක්ෂයි. ඒ වෙලාවේ ඇත්තටම දෙමළ ජනතාවට විරුද්ධව හිටපු අය, මේ රෙජීමය විසින් පවත්වාගෙන යුද්ධය පිළිගත්ත- අනුමත කරපු අය, අද දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් ගැන කතා කරනවා. අද ඒ අයට සිද්ධ වෙලා තියෙන්නෙ ඒ ගැන කතා කරන්න. නමුත් ඇත්ත මොකක්ද? ඒ ව්‍යසනයට මුහුණ දෙන්න සිද්ධ වුණේ සහ ඔවුන්ට ඒ අයිතිවාසිකම් නොලැබුණේ යුද්ධය නිසා. අපි දන්නවා ජයග්‍රාහකයා පරාජිතයට ඉඩ දෙන්නෙ නැහැ.

මේ ආණ්ඩුවට අවතැන් වූ දෙමළ ජනතාව නැවත පිහිටුවන්න ආදී දේ අපි කිව්වට ප්‍රායෝගිකව ඒක වෙන්නෙ නෑ. ඒක වෙන්නෙ නැත්තෙ ජයග්‍රාහකයා ඒකට ඉඩ දෙන්නෙ නැහැ. පරාජිතයට ඒ අවස්ථාව දෙන්නෙ නෑ. යුද්ධයකින් පස්සෙ තර්කානුකූලව සිදු විය හැකි දේවල් තමයි මේ සමාජයේ දැන් සිදු වෙමින් තියෙන්නෙ.

කළ යුතුව තිබුණෙ යුද්ධය පවතින අවස්ථාවේ ඒකට විරුද්ධ වීම මිසක් දැන් ඤුරු ඤුගාන ඒක නෙමෙයි. ඉතින් මේ වගේ තත්වයක් තමයි විකල්පය වෙනුවෙන් අපිට තේරුම් ගන්න තියෙන්නෙ. අද අපි විකල්පයක් වෙනුවෙන් වැඩ කරනවා නම් කොහොමද ඒකට ඉඩක් ලැබෙන්නෙ කියලා දැන් කතා කරමු. දැන් අපි දන්නවා මේ කාලේ ගත්තොත් ජනරළ සංයුක්ත අර්බුදයකට මුහුණ දීලා ඉන්නවා.

ජනරළ අලුතින් ගහන්න සල්ලි නෑ. මිනිස්සු පත්තරේ ප්‍රමාණවත් තරමට ගන්නෙ නැහැ. ඒ නිසා අපිට ඒ පත්තරේ වැඩ කරන්න කට්ටිය යොදා ගන්න විදියක් නෑ. ඒ වගේ සංයුක්ත ප්‍රායෝගික ප්‍රශ්න තියෙනවා. නමුත් අපේ ෆැන්ටසියෙ තියෙනවා සමාජ ව්‍යාපාරයක ප්‍රකාශනයක් ලෙස පත්තරයක් එළියට දාන්න ඕන, ඒ පත්තරේ මේ අංග තියෙන්න ඕන යනාදී වශයෙන්.

නමුත් ඒ ෆැන්ටසිය එහෙමම තියෙද්දි අපි මුහුණපාන ප්‍රායෝගික ප්‍රශ්න තියෙනවා. මං හිතන්නෙ ඒ තත්වය බැරෑරුම් ලෙස තේරුම් ගන්නැතිව පත්තරයක් පවත්වාගෙන යෑම කරන්න අපිට බැහැ. ඒක අපේ මනෝ ලෝකයේ තියෙන දෙයක් බවට පත් වෙනවා.
විකල්ප අවකාශයක් මේ සමාජය තුළ තියෙනවා. නමුත් තියෙන ප්‍රශ්නය තමයි විකල්ප අවකාශය අපි මේ සමාජ ක්‍රමය තුළ පාවිච්චි කරන්නෙ කොහොමද කියන එක. ලංකාවේ ජනමාධ්‍යය පාලක ස්ථාපිතයත් එක්ක මුලිමනින්ම එකට වැඩ කරන බව අපි දන්නවා. ක්‍රම දෙකකට ඒක සිද්ද වෙනවා. එක තමයි පාලකයන් විසින් බිය වැද්දීම් කරලා ජනමාධ්‍යය තමන්ට උවමනා විදියට හසුරුවා ගැනීම. මේ තත්වය, ජනමාධ්‍යයට එන්න කැමැත්තෙන් ඉන්න අයට දෙපැත්තක් ගැන හිතන්න හොඳ පසුබිමක්. මම මේ ස්ථාපිතය ගැන කතා කිරීම නිසා ලසන්ත වික්‍රමතුංගගෙ ඉරණම මට අත් වෙයිද, පෝද්දලට වගේ කකුල් කඩා ගන්න සිද්ධ වෙයිද ? මංජුල වගේ රටින් පිට වෙන්න වෙයිද? කියන ඒ බිය විසින් පුද්ගලයන්ව මේ කාර්යයට යෙදවීමෙන් වළක්වනවා.

දැන් ජනමාධ්‍යයවේදීන් සඳහා ඉතාම ආකර්ශනීය පැකේජයන් තියෙනවා. පොලී රහිත ලක්ෂ 12ක ණය මුදලක්, එහෙමත් නැතිනම් ලැප් ටොප් එකක් ආදී වශයෙන් ඉතා ආකර්ශනීය දේවල් ජනමාධ්‍යවේදීන් වෙනුවෙන් තියෙනවා.

ඒ නැතත් උපන් දිනයට ජනාධිපතිතුමා කතා කරලා අපට සුබ පතන එකට, අපේ මළ ගෙදරකට ඇවිත් යන එකට අපි හැමෝම කැමතියි. බිය වැද්දීම් වෙනුවට ලබා දෙන මේ සම්පත් දායකත්වය ලබා ගැනීමට සෑම ජනමාධ්‍ය වේදියෙක්ම කැමතියි.

අනිත් පැත්තෙන්, ජනමාධ්‍ය අයිතිකරුවනුත් මේ වගේම තමයි. රජයට සම්බන්ධ විවිධ දූෂිත ක්‍රියා වල නිරත වෙලා ඉන්න අය තමයි බොහොමයක් ජනමාධ්‍ය වල අයිතිකරුවො වෙලා තියෙන්නෙ. හිතාගන්න බැරි වේගෙකින් සමහර අය එක එක ජනමාධ්‍ය ආයතන මිලදී ගන්නවා.

මේවා කොහොමද වෙන්නෙ කියන එකට කිසි තර්කයක් නැහැ. ඒ තර්කයක් නැති කමම තමයි අද සමාජ යථාර්ථය වෙලා තියෙන්නෙ. ඒ ඒ පුද්ගලයන් ඒවා මිලදී ගැනීමට මුදල් හොයාගන්නෙ කොහොමද යන්නට කිසි තර්කයක් නැහැ. ඒකම තමයි අද සමාජයේ නියාම ධර්මය වෙලා තියෙන්නෙත්. ඒ ජනමාධ්‍ය වලට පොම්ප කරන මුදල ඉතා විශාලයි. ඒ ජනමාධ්‍ය ආයතන ජනමාධ්‍ය වේදීන්ට ඉතා විශාල පඩියක් ලබා දීලා ජනමාධ්‍ය වේදීන්ව බිලි බා ගන්නවා. අපි දන්නවා දැනටත් විකල්ප මාධ්‍ය වල වැඩ කරපු ප්‍රධාන පිරිසක් දැන් ඒ ජනමාධ්‍ය ආයතන වල වැඩ කරනවා. එදා විකල්පය වෙනුවෙන් සටන් කරපු අය අද ඒ විදියට අධිපති මාධ්‍ය වෙනුවෙන් වැඩ කරන හැටි දැක්කම අපිට දිව විකා ගන්න වෙනවා. ඒක තමයි මේ ජනමාධ්‍යවල යථාර්ථය.

මම හිතන්නෙ ඒ නිසාම තමයි අපිට විකල්පයක් අවශ්‍ය වෙන්නෙ. මේ කාසියේ අනිත් පැත්ත කියන්න අපිට විකල්පයක් අවශ්‍යයයි. කොළඹ ලස්සනට හදලා ගස් හිටවලා තිබ්බට ඒ අලුතින් හැදෙන තැන් වල ඉඳලා ආමි එකෙන් ඇවිත් අයින් කරලා මුඩුක්කු වල පදිංචි කරවීම පිළිබඳව කතා කරන්න අපට විකල්ප මාධ්‍යයයක් අවශ්‍ය වෙලා තියෙනවා.

වනාතමුල්ලෙ මිනිස්සුන්ට එක පාරටම තුණ්ඩුවක් බෙදලා එතනින් යන්න කියලා කකුල් කූඩු වගේ ෆ්ලැට් වල ගාල් කෙරුවම, අර ෆ්ලැට් වල ජීවිතේ වර්ණනා කරන්නැතුව මේ මිනිස්සුන්ව මේ තැන් වලින් උගුල්ලලා දාන මේ රෙජීමය ගැන මිලිටරි පාලනය ගැන කතා කරන්න ඕන.

එවැනි ජනමාධ්‍යයක අවශ්‍යතාවක් මේ සමාජයේ තියෙනව. හැබැයි ඒක මහ ලොකුවට අලෙවි වන පත්තරයක් වෙන්නෙ නැහැ. නැවත නැවත ඒ නිසා අපි කතාකරන්න ඕන කොහොමද මේක සමාජයේ පවත්වාගෙන යන්න ඕන කියලයි. මේකට විකල්ප අවකාශය භාවිතා කරමින් වෙබ් ලියන අය ඉන්නවා බ්ලොග් ලියන අය ඉන්නවා ඒ වැඩේ හරි ලේසියි.

අනිත් පැත්තෙන් මේ පොළවේ ඉදිමින් පත්තරයක් ගහන එක ඉතාම අසීරුයි. එහෙම නැත්නම් අපිට සිද්ධ වෙන්නෙ අපේ ෆැන්ටසියි ගැන කතා කරමින් හැමදාම අපේ අභිලාෂය යථාර්ථයක් නොවන ආකාරය අත්විඳිමින් ඉන්න.

ජනරළ, රාවය, ලංකා යන පත්තර සම්බන්ධයෙන් තිබෙන විශාලම මෙන්ම කතා කළ යුතුම ප්‍රශ්නය එයයි.

විකල්පය කියන්නෙ සුරතාන්තය

Saman

 

 

 

 

 

 

               සමන් වික්‍රමාරච්චි

විකල්පය කියන දේට මං දෙන අර්ථකතනය තමයි පුවත් පත් කලාවේ සුරතාන්තය. ප්‍රධාන ධාරාව විකල්ප ධාරාව කියල කොටස් දෙකක් තියෙනවනෙ. හැබැයි හැම තිස්සෙම තියෙන දෙයක් තමයි විකල්ප දේ රසවත් ප්‍රධාන දේට වැඩිය. දැන් ලක්බිම එන කාලේ ඒකත් එක්ක එනවා රිද්ම කියලා අතිරේකයක්. ඒක ලක්බිමට විකල්පයක්. ඒක supplement එකක්. ඒ අතිරේකය දෙන කොට පත්තරෙත් එක්ක, මිනිස්සු ඒ පත්තරේ ගන්නෙ අතිරේකය බලන්න. ටික කාලයක් යනකොට ප්‍රධාන පත්තරය පැත්තකට ගිහින් අතිරේකය ඉදිරියට එනවා.

දැන් අපිට යම් කිසි ආශාවක් සපුර ගන්න තියෙනවා නම් අපි ඒ ආශාව සපුර ගන්නෙ, විශේෂයෙන්ම ව්‍යභිචාරී ආශාවක් නම් ඒක සම්පූර්ණ කරගන්න වෙන්නෙ අතිරේකයකින්මයි. දැන් මං මේ කතාකරන්න හදන්නෙ අපිට පේන දේට එපිටින් තියෙන දේ ගැන. අපිට එහෙම කතාකරන්න උගන්වලා තියෙන්නෙ මාක්ස්. ‘පේන දේ නෙමෙයි නොපෙනෙන දේ බලන්න.’ මාක්ස සහ ෆ්‍රොයිඩ්..පේන මේ යථාර්ථයට එහායින් දෙයක් තියෙනවා.

ප්‍රධාන පත්තර වල නොකියවෙන යමක් හැම තිස්සෙම තියෙනවා. දැන් බටහිර ඔය විකල්ප කියන එක එන්නෙ ටැබ්ලොයිඩ් පත්තර විදියට. ඒවා එන්නෙ සඟවන කරුණු ඉදිරිපත් කරන්න. ඒකට හේතුව තමයි සාමාන්‍ය තලයේ ඉන්න මිනිස්සු, සදාචාරවත් මිනිස්සු අපි නොවිදින මොකක්දෝ සැපක් විදිනවා කියලා හිතනවා. අන්න ඒ කුතුහලය නිසා තමයි පැපරාසියා වගේ සඟරා එන්නෙ. ඒවා හරිම ජනප්‍රියයි. මිනිස්සු හරි කැමතියි ඒ වගේ දේවල් බලන්න. ඒක දැන ගන්න මිනිස්සුන්ට තියෙන්නෙ විපරීත ආශාවක්. ෆැන්ටසියක්.

ඩෙරීඩා ගෙ පොතක එයා දාර්ශනිකයෝ තුන් දෙනෙක් ගැන කතා කරනවා. ඒ අය තමයි ඩෙකාර්ට්, රූසෝ, හේගල්. දැන් ඩෙකාර්ට්ගේ කාලයේදී මේ බටහිර තිබුණ දෙයක් තමයි මේ කතාකිරීම කියන එක හරි ප්‍රධානයි, ලිවීම අප්‍රධානයි. ලිවීම විකල්පයක්. ලිවීම ‘සප්ලිමන්ට්’ එකක්. මෙන්න මේකටයි ඩෙරීඩා ගහන්නෙ. එතන්දි ඩෙකාර්ට් ලිවීමේ සංඥාව කියන දේට පයින් ගහලා ඉස්සරහට අරන් එන්නෙ අයිඩියා කියන දේ.

දැන් ඩෙකාර්ට්ස් ගෙ ප්‍රධාන කියමනනෙ, ‘මම හිතමි එනිසා මම වෙමි’ කියන එක. හේගල්ගේ ඒක වෙනස් කරන්නෙ සංඥාව කියන කාරණය ගෙනාවත් අදහස කියන දේ තල්ලු කරන්නයි. ඔහුත් මේ කතාවට තියෙන ප්‍රමුඛතාව ප්‍රතික්ෂේප කරන්නෙ නෑ. රූසෝ මුලිමනින්ම ලිවීම කියන එක හෙළා දකිනවා.

මම දැන් මෙතන කතා කරනවා. මම කියන දේ ඔබ අහන් ඉන්නවා. ඒක ක්ෂණීයතාවයෙන් ඔබට අවබෝධ වෙනවා. එක පාරටම මං කියන දේ ඔබට තේරනවා. ඒක වහාම වෙන දෙයක්. ලියන දේ එහෙම නෙමෙයි. ඒක විකල්පයක්. ඒක අප්‍රධානයි. ඒක නිසා තමයි රූසෝ කියන්නෙ ලිවීම අප්‍රධානයි කියලා.

නමුත් ඇත්තටම රූසෝ කියන්නෙ වචන 10ක් ගොත ගහන්නෙ නැතුව කතා කරන්න පුළුවන් කෙනෙක් නෙමෙයි. ඔහු අදහස් නිසියාකාරව සම්ප්‍රේෂණය කළේ ලිවීමෙන්. විකල්ප පත්තර කියන දේට මේ කතාව ආදේශ කරලා බැලුවොත් ඔබට මේ කියන දේ හොදින් තේරේවි.

දැන් රූසෝ හරියටම නිවැරදිව යම් කිසි දෙයක් ප්‍රකාශ කළා. ඔහු කිව්වෙ ලිවීම කියන්නෙ මේ කතාවේ ‘රී ප්‍රසන්ටේෂන් එකක්’ විතරයි. නමුත් ඔහුම පිළිගන්නවා ඔහුට හොඳට ලියන්න විතරයි පුළුවන් කියලා.

සටහන

බාසුරු ජයවර්ධන

 

janarala

Related Articles

Leave a comment

Search

Back to Top